උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න
කලින් දුන්නැයි කීම

ටියුෂන් සර්ගේ මාකටින් වැඩක්ද?

මේ දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාග යටතේ ඊයේ (19) පවත්වන්නට යෙදුණ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් ගම්පහ ප්‍රදේශයේ පිටවයාම සම්බන්ධයෙන් සැකයක් ඇතිවී මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව හා පොලිසිය ඒ ගැන විශේෂ පරීක්ෂණ අරඹා තිබේ.
‘මේ මොහොතේ ඔබ මුහුණදුන් ප්‍රශ්න පත්‍රය සමග අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍රය සසඳා බලන්න‘ යනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පංති ගුරුවරයෙකුගේ නමක්ද සඳහන් කරමින් අත්පත්‍රිකාවක් මුද්‍රණය කර එහි රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට ආ ප්‍රශ්න
කිහිපයක්ද මුද්‍රණය කර 11.30 ට විභාගය අවසන් වී
ළමුන් විභාග ශාලාවෙන් පිටවෙද්දී 11.35 වනවිට ඒවා බෙදාහැර තිබූ අතර එ්වා ඊයේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ඇතුළු ස්ථාන කිහිපයකදී
බෙදා හැර තිබුණි.
තමන් විභාගයේදී අමාරුවෙන් ලියූ ප්‍රශ්න පත්‍රයේ 7,9, සහ 10 යන ප්‍රශ්න සියලුම රූප සටහන් සහිතව එම අත් පත්‍රිකාවේ එලෙසම පළවී තිබීම දැක විමතියටත් කම්පාවටත් පත් සිසුවියන් මේ ගැන දෙමාපියන්ට හා වගකිව යතු අයට පැමිණිලි කළ අතර  මව් පියන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේත්තුවට දැනුම් දීමෙන් පසු විභාග කොමසාරිස් ජනරාල්වරයා එ් ගැන සෙවීම පොලිසියට භාර කර තිබේ.

යම් හෙයකින් මෙම ප්‍රශ්න පත්‍රය පිටවී තිබුණේ නම් නැවත වාරයක් විභාගය පවත්වන්නට සිදුවනු ඇත.නමුත් බැලුබැල්මට ඇතිව තිබෙන සැකය නම් මෙය අදාළ උපකාරක පන්ති ගුරුවරයා තමන් නොදුන් ප්‍රශ්න පත්‍රයක් ගැන සිසුදරුවන් නොමග යවා දෙවැනිවර විභාගයට පෙනී සිටින සිසුන් ටියුෂන් පන්ති වලට ගෙන්වා
ගන්නට සිදුකළ බාල ගණයේ ‘මාකටින්‘ වැඩක් බවයි.
විභාග ප්‍රශ්න පත්‍රය සිසු දරුවන්ට උදෑසන බෙදූ අවස්ථාවේ කවුරුන් හෝ ගුරුවරයෙකු මාර්ගයෙන් ටියුෂන් ගුරුවරයා එහි පිටපතක් වයිබර් /වට්ස්අප් කරවාගෙන එහි කොටස් ඉක්මණින් සංස්කරණය කර මෙම පත්‍රිකාව ඩුප්ලෝ යන්ත්‍රයකින් මුද්‍රණය කර 11.30 වනවිට බෙදාහැරීමද අපහසු කරුණක් නොවේ.

විභාග ප්‍රශ්න පිටකිරීම හසුවුවහොත් දඬුවම් ලැබෙන බව දැනදැන තමන්ගේ නම හා පන්ති පවත්වන ස්ථානද නම් කරමින් තමන් කළ වංචාවට අදාළ පත්‍රිකා බෙදීම මෙම තැනැත්තා කළා යයි සිතන්නට බැරි දෙයක් වන අතර හුදෙක්ම තමන්ට ඊළඟ වාරයේ වැඩි සිසුන් පිරිසක් එක්රැස් කරවාගන්නට දුරදිග නොසිතා සිදුකළ බාල මාකටින් වැඩක් යයි පෙනෙන්නට තිබේ.
 ගම්පහ ප්‍රදේශයේ වැඩිදෙනෙකු මෙබඳු ගුරුවරයෙකු ගැන නොදන්නා බවද පැවසිණි.
පහත පළවන්නේ පිටවූවා යයි කියන පත්‍රිකාව හා එහි පසුපිට තිබුණ විභාග ප්‍රශ්නයි.